දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳ විමසා බැලෙන කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (13) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුවේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභා පාසල් වල පවතින ගුරු හිගය , මාර්ග කිලෝමිටර් දස ලක්ෂයේ වැඩ සටහන යටතේ දැනට වැඩ අවසන් කර ඇති හා ඉදි වෙමින් පවතින මාර්ග, පාලම් පිළිසකර කිරීම, අස්වැසුම දෙවන අදියර යටතේ අයදුම්පත් යොමු කිරිම හා අභියාචනා පිලිබඳ සලකා බැලීම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින පොදු දුෂ්කරතා හා ගැටලු පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.

ඉන්දිය රජයේ ආධාර යටතේ නිවාස සංවර්ධන අධිකාරිය මැදිහත් වීමෙන් දෙහිඹ්විට වල්පොල වසම මුල් කරගෙන ඉදි කරන නිවාස සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර ගැනීම පිළිබඳවද මෙහිදි කරුණු දැක්විය.

මේ දිනවල දිස්ත්‍රික්කය පුරා පැතිර යමින් පවතින දැඩි වියලි කාලගුණික තත්ත්වයත් සමග ලැව් ගිනි ඇතිවීමේ ප්‍රවණතාවයක් පවත්න බවත් ඒ සඳහා පුර්ව සුදානමක් පැවතිමේ අවශ්‍යතාවය මෙහිදි සැලකිල්ලට ගැනිණි. ඒ අනුව රක්ෂිත ආශ්‍රිතව ජිවත්වෙන්නන් දැනුවත් කිරිමේ අවශ්‍යතාවය හදුනා ගැනුණි.

සංවර්ධන ව්‍යාපෘතින් හා වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී සමෘද්ධි අංශය, නිවාස සංවර්ධව අධිකාරිය, පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය, ආරක්ෂක අංශයේ ගැටළු හා ඒ සඳහා ලබා දිය හැකි විසදුම් පිළිබදව මෙහිදි සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ ,තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රි සුදත් මංජුල යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන අධිකාරිය, පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ යන මහත්වරුන්, පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ, පොලිස් නිලධාරීන්, විවිධ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.