කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද දින රැස්වූයේ (02) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ. එම්. ආර්. පී. ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී එතුමාගේ පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීමෙන් පසුව සබරගමුව පළාත් ආණ්ඩුකාර සහ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති නවීන් දිසානායක හා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් මුලසුන ගැනීමෙන් අනතුරුව සභාවේ ඉදිරි වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

ඒ ඒ විෂය පථවලට අදාල සමහර නිලධාරීන්ගේ අඩුවක් පැවතිය ද දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් තාක්ෂණ අමාත්‍ය කනක හෙරත් ,කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, උදයකාන්ත ගුණතිලක යන මහත්මාවරුන් මෙහිදී සම්බන්ධ විය.

මෙහිදී දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ 2024 වසරේ මුල් කාර්තුව තුළ ඩෙංගු රෝගීන් 995 දෙනෙකු හමුවී තිබෙන බවයි. නිසි ලෙස පරිසර පවිත්‍රතාව සිදු නොකළහොත් මෙය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය . මෙම රෝගීන් වර්කාපොළ, රුවන්වැල්ල, මාවනැල්ල කොට්ඨාස තුනෙන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි. එමෙන්ම මී උණ රෝගීන් 2020 සිට 2024 දක්වා යල මහ දෙකේම වැඩිවීමක් පෙන්නුම් කරන බවත් මේ වසරේ පළමු කාර්තුව වන විට මී උණ රෝගීන් 198 දෙනෙකු වාර්තා වී ඇති බවත් මාවනැල්ල සහ කෑගල්ල කොට්ඨාසවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවත් ඔහු විසින් පවසන ලදී.

කමිටු රැස්වීම අවසානයේදී සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසා සිටියේ " මුදල් නිකුත් කිරීම පිළිබඳව භාණ්ඩාගාරය විසින් දැනුවත් කිරීමක් කර තිබෙනවා. පසුගිය අවුරුදු දෙක තුනක කර ගැනීමට නොහැකි වූ වැඩ ප්‍රමාණයක් මේ ප්‍රතිපාදනවලින් කරගැනීමට අවශ්‍යව ඇති බැවින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කිහිපය තුළදී මේ වැඩ කොටස් සම්පූර්ණ කිරීමට. ජනතාවට සේවය කිරීමට බැඳී සිටින නිලධාරීන්ගෙන් මා ඉල්ලා සිටිනවා මේ ප්‍රතිපාදනවලින් එම වැඩ කොටස් නිම කිරීමට සහයෝගය දක්වන ලෙස".

අද දින පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය,දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ. ඒ. වීරකෝන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයතන ප්‍රධානීන් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසක් සහභාගි වුහ.