කෑගල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වන උඩුව ග්‍රාමනිලධාරී වසමට අයත් කැකලපන ග්‍රාමයේ පදිංචි පාසල් හැරගිය අඩු යටිතල පහසුකම් යටතේ ජීවත් වන සිංහල දෙමළ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා විදුලි කාර්මික පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන අංශය මගින් දියත් කළ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගියදා පැවැත්වුණේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් එච්. ඩී. එස්. එන්. හෙට්ටිගේ, සහකාර ප්‍රාදේශීය ලේකම් සිතාරා වී වික්‍රමරත්න සහ කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කැකලපන මහා විද්‍යාලයට ආසන්නව පිහිටි කැකලපන විහාරස්ථානයේ අභිනව ධර්මශාලාවේදීයි.
කැකලපන විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් වහන්සේ විසින් ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු පිළිගැනීමේ කතාව සිදු කරන ලද්දේ කැකලපන විද්‍යාලයේ විදුහල්පති ටී. රත්නපාල මහතා විසිනි. බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම්, කෑගල්ල දිස්ත්‍රික් සහකාර ලේකම්, බෙරෙන්ඩිනා සංවර්ධන සේවයෙහි අධ්යක්ෂ ජගත් හේමන්ත මහතා තම ආයතනයෙහි සුභ පැතුම්ද, සම්පත් දායකත්වය සපයන වෘත්තීය පුහුණු අධිකාරියේ ආචාර්ය එච්. ජී. සී. එච්. ගුණතිලක මහතා ද, දෙමව්පියන් නියෝජනය වන පරිදි එක් පියතුමකුද මෙම පාඨමාලාවේ ඇති වැදගත්කම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවබෝධ කරවමින් හරවත්, ඵලදායි හා සංවේදී කතාවන් කිහිපයක් සිදු කරන ලදී. ස්තුති කතාව සිදු කරන ලද්දේ නිපුණතා සංවර්ධන දිස්ත්‍රික් සම්බන්ධීකාරක දිනේෂ් නවරත්න මහතා විසිනි. මෙම උත්සවය සඳහා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද පාඨමාලාව හදාරන සියලුම ශිෂ්‍යයන්ද සහභාගි විය.
සතිඅන්ත පාඨමාලාවක් ලෙස පුරා මාස 4 ක කාලයක් මුළුල්ලේ දරුවන් 30 දෙනකුගෙන් සමන්විතව පවත්වනු ලබන මෙම පාඨමාලාවට දායකත්වය සපයන්නේ වෘත්තීය පුහුණු අධිකාරියයි (V t a). මෙහි විශේෂත්වය වන්නේ ශිෂ්‍යාවන් 04 දෙනකුද මෙම පාඨමාලාව හැදෑරීමයි.
වෘත්තීය පුහුණු අධිකාරිය හරහා එක් ශික්ෂයකුට මෙම පාඨමාලාව හැදෑරීමට පමණක් රු. 28500/= ක මුදලක් වැය වන අතර පාඨමාලාව හදාරන සිසුන් 30 දෙදෙනා සඳහා වැයවන පිරිවැය රු. 855000/= කි. එම පිරිවැය සඳහා දායකත්වය සපයන්නේ බෙරෙන්ඩිනා සංවර්ධන සේවයයි. පාඨමාලාව අවසන් වන තුරුම සියලු සිසුන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ලබාදීමටද මෙම ආයතනය දායකත්වය සපයනු ලබයි. සංකේතාත්මකව එම ලිපි ද්‍රව්‍ය ලබාදීමද අද දින සිදු කෙරිණි. පුහුණු ද්‍රව්‍ය සහ ඊට අවශ්‍ය උපකරණ ලබාදීමත් පාඨමාලාවට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා දිස්ත්‍රික් වෘත්තිය පුහුණු අධිකාරියට සිසුන්ට යාමට සහ ඒමට ගමන් පහසුකම් සැලසීමත් බෙරෙන්ඩිනා සංවර්ධන සේවය විසින් සිදු කරනු ලබන තවත් කාර්යයකි. පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසු දරු දැරියන් සඳහා දේශීය රැකියා අවස්ථා, පෞද්ගලික ආයතනයකට සම්බන්ධ වී රැකියාවක් ලබා ගැනීමට උත්සුක වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීමද, විදේශගතව රැකියාවක් බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා අනුග්‍රහය දැක්වීමට ද, පාඨමාලාව අවසානයේදී රු. 100000/= ක් පමණ වටිනා උපකරණ කට්ටලයක් ලබාදීමටද බෙරෙන්ඩිනා සංවර්ධන සේවය කටයුතු කිරීම සුවිශේෂත්වයකි. මේ අනුව පාඨමාලාව සඳහා බෙරෙන්ඩිනා සංවර්ධන සේවය මගින් රුපියල් ලක්ෂ දොළහක පමණ මුදලක් වැය කිරීමට අපේක්ෂා කෙරේ. මෙම සුවිසල් කාර්ය සඳහා දායකත්වය සැපයීම පිළිබඳව බෙරෙන්ඩිනා සංවර්ධන සේවයට සියලු දෙනාගේම ස්තුති පූර්වක කෘතඥතාව හිමි විය යුතුය.
මෙම වැඩසටහන සම්බන්ධකරණ කරන ලද්දේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිපුණතා සංවර්ධන නිලධාරී අජිත් ආරියරත්න මහතා විසිනි.
මෙහි දෙවැනි අදියර ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ හඳුනාගත් දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල (දැරණියගල - නූරිය, යටියන්තොට, දෙහිඕවිට, අරණායක) මැහුම් සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ පාඨමාලාවන් ආරම්භ කිරීමටද අපේක්ෂා කෙරේ. ඒ සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, පොලික්‍රෝම් ආයතනය සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ලබා ගැනීමට ද අපේක්ෂා කෙරේ.























