දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය පිළිබඳ විමසා බැලෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (20) පෙරවරුවේ දී සබරගමු පළාත් ආණ්ඩුකාරවර අධි නීතිඥ නවීන් දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගේ සම සභාපතීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි රැස්විය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන කඳුකර දශකය වැඩසටහනට අදාලව මේ වන විට ව්‍යාපෘති 2540ක් හඳුනා ගෙන ඇති අතර ඉන් ව්‍යපෘති 147ක් වැඩ අවසන් කර ඇති බවත්, විමධ්‍යගත අය වැය වැඩසටහන යටතේ රුපියල් මිලියන 517ක් කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා වෙන් කර ඇති බවත් මේ වන විට ඒ යටතේ ව්‍යාපෘති 71ක වැඩ අවසන්ව ඇති බවත් ප්‍රකාශ කෙරිණි. එමෙන්ම 2024 වසරට අදාලව ක්‍රියාත්මක කෙරෙන සංචාරක සංවර්ධන ව්‍යාපෘති යටතේ පින්නවල හා කිතුල්ගල සංචාරක තීරය සංවර්ධනය සඳහා මිලියන 456ක මුදල් වෙන් වී ඇති බවද කියැවිණි. අරණායක, බුලත්කොහුපිටිය හා ගඟ ඉහළ කෝරළේ ආශ්‍රිත සංචාරක සංවර්ධන කලාප ව්‍යාපෘති ඉදිරයේ දි ගැසට් කොට ඉදිරි කටයුතු ක්‍රියාත්මක වීමට නියමිත බවත්, සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය පිළිබදවත් විමසා බැලිණි. තව ද සබරගමු පළාත් සභාව මඟින් මෙම වසර සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයට මිලියන 2381ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් එම පළාත් සභාවේ අමාත්‍යංශ හරහා ක්‍රියාත්මක කරන ඒ ඒ ව්‍යාපෘතීන් පිලිබඳ ප්‍රගතියත් විමසා බැලිණි.

පාසල් කිහිපයක පවතින විදුහල්පති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා කටයුතු කිරීමට මෙහිදි විශේෂ අවධානය යොමු වූ අතර දෙහිඕවිට අධ්‍යාපන කලාපය තුල පවතින දැඩි ගුරු හිඟයට පිළියමක් ලෙස ගුරුවරුන් 235ක් එම පුරප්පාඩු පිරවිම සදහා යෙදු බවද මෙහිදි ප්‍රකාශ කෙරිණි.

වසරේ මේ දක්වා කාලය තුල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1291ක් වාර්තා වි ඇති අතර මාවනැල්ල හා වරකාපොල කලාපවල වැඩිම රෝගින් වාර්තා වන බව කියැවිණි.රාජ්‍ය ආයතන, පොදු ස්ථාන හා නිවාස පිරිසිදුව පවත්වාගෙන යාමේ වැඩසටහන් තවදුරටත් පවත්වාගෙන යමේ අවශ්‍යතාවයද මෙහදි අවධාරණය කෙරිණි.

මීට අමතරව විවිධ රාජ්‍ය ආයතන මඟින් ක්‍රියාතත්මක වැඩසටහන් පිලිබද ද කරුණු විමසා බැලිණි.

දිස්ත්‍රික් සැලසුම් අංශය මෙම හමුව සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින් , සබරගමු පළාත් ලේකම් මහින්ද එස් වීරසූරිය, කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමන්, ප්‍රාදේශිය ලේකම්වරුන්, අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානින්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.