කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුස්ලිම් කටයුතු අංශය, ඉස්ලාමීය අධ්‍යයන කේන්ද්‍රයේ සංහිඳියා මධ්‍යස්ථානය, කෑගල්ල දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන සම්මේලනය හා මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරී සංසදය එක්ව සංවිධානය කළ "ඔබ අපි හඳුනා ගනිමු" සංස්කෘතික අත්දැකීම් හුවමාරු වැඩසටහන ඊයේ (25) දවස පුරා කෑගල්ල නගර ජුම්මා මස්ජිදයේදී සංවිධානය කර තිබුණි.

මුස්ලිම් දේවස්ථානයක සිදුවන සියලුම ආගමික වතාවත්, චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ සෙසු සියලු ජාතීන්ට අත්දැකීම් හුවමාරු කරදීමෙන් ආගමික සංහිඳියාව හා ජාතීන් අතර සහජීවනය වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන සඳහා විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි.

ඒ අනුව කෑගල්ල ගොලහැල හන්දියේ සිට හෙම්මාතගම සහ්රියා අරාබි පාසලේ දරුවන්ගේ ලී කෙළි ක්‍රීඩා සංදර්ශන මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් කෑගල්ල නගර මුස්ලිම් මස්ජිදය වෙත කැඳවාගෙන එන ලදී. පැමිණ සිටි සියලු දෙනා පිළිගැනීම දිස්ත්‍රික් මුස්ලිම් මස්ජිද් සම්මේලනයේ ගරු සභාපති මවුලවි නිසාම් මහතා විසින් සිදු කළ අතර වැඩසටහන පිළිබඳ හඳුන්වාදීම CIS ආයතනයේ මවුලවි මුනීර් මුලෆර් මහතා විසින් සිදු කරන ලදී. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ සුභාශිංශනයද එක් කල අතර, සමස්ත වැඩසටහනට උරදුන් සියලු දෙනා සිහිපත් කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුස්ලිම් කටයුතු සම්බන්ධකරණ නිලධාරී එම්.එෆ්.එම් රිල්වාන් මහතා විසින් සිදු කරන ලදී.

ඔබ අපි හඳුනා ගනිමු වැඩසටහන යටතේ මුස්ලිම් මස්ජිදයේ චාරිකාවක්, සජීවී යාඥා නැරඹීමේ අවස්ථාව, ඉස්ලාම් ආගම සම්බන්ධ පැහැදිලි කිරීම්, ඉතිහාසයේ සුභ නිර්මාණ ඉගෙන ගැනීම්, පෝස්ටර් ප්‍රදර්ශනය, කාන්තාවන් සඳහා මෙහෙන්දි කලාව මෙන්ම සාම්ප්‍රදායික මුස්ලිම් ආහාර රසවිඳීමටත්, අරාබි අක්ෂර ඔස්සේ තමන්ගේ නම් පරිවර්තනය කර ගැනීමටත් අවස්ථාව සලසා දී තිබුණි.

දිස්ත්‍රික් මුස්ලිම් කටයුතු සම්බන්ධකරණ නිලධාරී එම්.එෆ්.එම් රිල්වාන්, මනෝ විද්‍යා දිස්ත්‍රික් සම්බන්ධකරණ උපදේශන නිලධාරී එම්.බී.එම් ඉක්බාල්, භාශා පරිවර්තක එම්.ඒ. එම් ෆයුසර් යන මහත්වරුන් ඇතුලු මීට සම්බන්ධ ආයතන එක්ව මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය, අතිරේක දිස්ත්‍රික් ලේකම් පාලන කේ.ජී.එස් නිශාන්ත මහතා, කෑගල්ල හා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම්වරුන්, විවිධ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් , පාසල් සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.