වර්තමාන සමාජයේ කාන්තාවන් මුහුණ දෙන විවිධ මානසික ගැටලු හේතුවෙන් ඇතිවන ගැටලුකාරී තත්වයන් , අන්තර් පුද්ගල සබඳතා ගැටලු, විද්‍යුත් තිරවලට ඇබ්බැහිවිම සියදිවි නසා ගැනිම්,විවිධ ඇබ්බැහිවීම් අවම කිරිම සදහා මනෝ විද්‍යාත්මක වැඩසටහන් තුලින් කාන්තාවන්ගේ ජීවන කුසලතා ඉහළ නැංවීම හා පෞරුෂය සංවර්ධනය කිරීම යුගයේ අවශ්‍යතාවයක්ව ඇත.

උක්ත කාරණාවන් අරමුණු කර ගනිමින් කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය හා දිස්ත්‍රික් මනෝ උපදේශන ඒකකය එක්ව සංවිධානය කල දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ( 18) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

දිස්ත්‍රික්කයේ කාන්තා බල මණ්ඩලවල සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික තනතුරු හොබවන සාමාජිකාවන් එක්වූ මෙම වැඩටහනේදි කාන්තා සවිබලකරණය, තාක්ෂණය නිවැරදිව භාවිතා කිරීම හා ඇබ්බැහිවිම් තුලින ඇතිවන කාන්තාවන්ට ඇතිවන ගැටලු පිලිබඳ දැනුවත් කිරිම මනෝ වෛද්‍ය නිලධාරී සුරංජනිකා ගුණතිලක මහත්මිය විසින් සිදු කෙරිණි.එමෙන්ම මානසික පීඩනය අවම කිරිමට රංග චිකිත්සාවේ වැදගත්කම මනෝ උපදේශන නිලධාරී මධු සෙන්දනායක මහත්මිය විසින් හා කාන්තාවන් මුහුණ දෙන මානසික ගැටලු සම්බන්ධයෙන් උපදේශන නිලධාරී ගයානි හර්ස්චන්ද්‍ර මහත්මිය විසින් පිරිස දැනුවත් කරන ලදී.

මෙම වැඩසටහන දිස්ත්‍රික් මනෝ උපදේශන නිලධාරී එම්.බී.එම් ඉක්බාල් මහතා ඇතුලු එම අංශය විසින් සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ, වනිතා සංවර්ධන නිලධාරී මනෝරි දෙහිමඩුව මහත්මිය මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපදේශන නිලධාරීන්, කාන්තා බල මණ්ඩලවල සාමාජිකාවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.