කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය හා දිස්ත්‍රික් මනෝඋපදේශන ඒකකය එක්ව සංවිධානය කළ තවත් මනෝ සමාජීය ගැටලු අවම කිරීමේ උපදේශන වැඩසටහනක් අද (19) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කෑගල්ල හා මාවනැල්ල අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන් සඳහා පැවැති මෙම වැඩසටහන තුළින් පාසල් දරුවන් තාක්ෂණික තිර වලට අබ්බැහිවීම හා අනාගත පවුල් සංස්ථා මුහුණ දිය හැකි ගැටලු මඟ හැරීම සදහා මනෝ විද්‍යාත්මක වැදගත්කම පිළිබඳව මෙහිදී දැනුවත් කෙරිණි.

දරුවන් මෙන්ම දෙමව්පියන් සහ ගුරුවරුන්ද දරුවන්ගේ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත්ව තිබේ.මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා අවශ්‍ය මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීම විශේෂඥ මනෝ වෛද්‍ය අනෝමා ජයසිංහ මහත්මිය විසින් මෙහිදී ලබා දෙන ලදී. වැඩසටහන අවසානයේදී විදුහල්පතිවරුන්ට පවතින ගැටලු හා අදහස් දැක්විමටද අවස්ථාව සලසා දෙන ලදි.

මෙම වැඩසටහන දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ මනෝඋපදේශ නිලධාරී හා දිස්ත්‍රික් සම්බන්ධීකාරක එම්.බී.එම් ඉක්බාල් මහතා හා එම අංශය එක්ව මෙම දැනුවත් කිරීම සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ, දිස්ත්‍රික් කෘෂි අධ්‍යක්ෂ එම්.එස් තිලක්සිරි යන මහත්වරුන් , දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපදේශන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.