කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභ්‍යන්තර විගණන අංශවල නිරත නිලධාරීන් සහ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අභ්‍යන්තර විගණන අංශයට අනුයුක්ත ආධුනික රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණ ඇතිව 'සංවර්ධන ව්‍යාපෘති ගොනු සහ විගණනය ඉදිරිපත් කිරීම' මැයෙන් එක් දින පුහුණු වැඩමුළුවක් දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා (24) පැවැත්වුණා.
මෙම වැඩමුළුව සාර්ථක කර ගැනීම සඳහා සම්පත් දායකයෙකු ලෙස කෑගල්ල, විගණන උපකාර්යාලයේ, සහකාර විගණන අධිකාරී, H. R. B. N. බණ්ඩාර මහත්මා සහභාගි වූ අතර දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ උපදෙස්, මඟ පෙන්වීම හා පූර්ව අධීක්ෂණය යටතේ මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණා.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරිනී W. V. I. ජයවර්ධන මහත්මිය විසින් මෙම නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණ පැහැදිලි කළ අතර එහිදී එතුමිය සඳහන් කළේ : "සෑම වර්ෂයකම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන නිලධාරීන් දැනුවත් කිරීම සඳහා කාර්තුවකට එක් වැඩමුළුවක් බැගින් පැවැත්වීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන වැඩමුළු අතරින් 2024 වර්ෂය සඳහා අභ්‍යන්තර විගණන අංශයේ විෂය පථයට අදාළව විවිධ ක්‍ෂේත්‍රයන් ආවරණය වන පරිදි මේ වසරේ තුන්වන කාර්තුවෙහි අභ්‍යන්තර විගණන සැලැස්මට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහනයි අද දින පවත්වනු ලබන්නේ." මෙහි පළමු සහ දෙවැනි දැනුවත් කිරීමේ වැඩමුළු පසුගිය කාර්තු දෙක තුළ සිදු කළ බවයි එතුමිය වැඩිදුරටත් සඳහන් කළේ.
අභ්‍යන්තර විගණන නිලධාරින් ආමන්ත්‍රණය කළ දිස්ත්‍රික් ලේකම් තුමන්: " දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක වැඩසටහන් අදාල චක්‍රලේඛ සහ උපදෙස්වලට අනුව නිසි පරිදි ඉටුවන්නේ දැයි අධීක්ෂණය කිරීමයි අභ්‍යන්තර විගණන අංශවලින් සිදු කරනු ලබන්නේ. වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දුෂ්කරතා හා ගැටලුවලට අවශ්‍ය දැනුම ලබාදීමයි මෙම පුහුණු වැඩසටහන පැවැත්වීමේ අරමුණ. ඒ සඳහා ප්‍රවීණ විගණන නිලධාරීන් නිරන්තරයෙන් ඇසුරුකොට ඔවුන්ගේ පරිණත දැනුම ලබා ගනිමින් තම තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීම අභ්‍යන්තර විගණන නිලධාරීන්ට සහ ආධුනික අභ්‍යන්තර විගණන නිලධාරීන්ට ඉතාම වැදගත්. වැඩමුළුව මගින් අභ්‍යන්තර විගණන අංශවල සංවර්ධන ව්‍යාපෘතිවල තාක්ෂණික අංශවලට අදාළ වාර්තා සකස් කිරීමේදී ඇතිවන ගැටලු සහ ඒවා නිවැරදිව ඉටුකිරීමට මෙම වැඩසටහන මගින් මනා අවබෝධයක් හා දැනුමක් ලබා ගැනීමට සියලුම විගණන නිලධාරීන්ට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා".
එම වැඩමුළුව සාර්ථක ලෙස අවසන් කළ අතර ඒ සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන නිලධාරීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අභ්‍යන්තර විගණන නිලධාරීන් සහභාගි විය.






















