කර්මාන්ත අමාත්‍යාංශයේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක දීප ව්‍යාප්ත මට්ටමින් දිස්ත්‍රික්ක විසිපහම ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් කර්මාන්ත කමිටු ස්ථාපිත කිරීම මේ වන විට සිදුකෙරේ. එයට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් කර්මාන්ත කමිටුව පිහිටුවීම අද (29) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම හමුවේදී නිල බලයෙන්ම කර්මාන්ත සංවර්ධන කමිටුවේ උපදේශකයින් ලෙස දිස්ත්‍රික් ලේකම්තුමන් හා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සබරගමුව පළාත් අධ්‍යක්ෂකතුමන් පත්වන අතර ව්‍යවසායකයන් අතරින් තිදෙනෙකුද එම කමිටුවට තෝරා පත්කර ගැනිණි.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂකතුමන් නිල බලයෙන් එම කමිටුවේ සභාපති ලෙස පත් වූ අතර උප සභාපති ,භාණ්ඩාගාරික, විගණන පාලක යන තනතුරු සඳහා කර්මාන්ත කරුවන් අතරින් පිරිසක් තෝරාගන්නා ලදී. කර්මාන්ත ක්ෂේත්‍රයන් සියල්ල ආවරණය වන පරිදි කාරක සභිකයන් ද යෝජනා සම්මතයෙන් තෝරා පත් කර ගැනිණි.

ඒ අනුව නවීන තාක්ෂණය ,ව්‍යාපාර කළමනාකරණය , වෙළඳපොළ අවස්ථා ඇතුළු ව්‍යවසාය ප්‍රවර්ධනයට අවශ්‍ය පහසුකම් ලබාගැනීමට සහ උද්ගත වන ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට කර්මාන්ත සංවර්ධන කමිටු ප්‍රාදේශීය , දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් ස්ථාපිත කෙරේ.

මෙම අවස්ථාවට සමගාමීව ව්‍යවසායකින් සදහා කර්මාන්ත අමාත්‍යාංශය මගින් හැදුනුම්පතක් නිකුත් කිරීම මේ වනවිට සිදුවන අතර එය සංකේතවත් කරමින් ව්‍යවසායකියින් තිදෙනෙකුට දිස්ත්‍රික් ලේකම් තුමන් අතින් එම හැදුනුම්පත් ලබා දීමටද කටයුතු කෙරිණි.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.කේ.ජී.එස් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ .ඒ වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එස් තිලකසිරි, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ ට්‍රින්සි මනෝජ යන මහත්ම මහත්මීන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සබරගමු පළාත් අධ්‍යක්ෂ එස්.ඒ.ජී සේනානායක මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය, දිස්ත්‍රික් විදාතා, අපනයන සංවර්ධන, ව්‍යවසාය සංවර්ධන, ඵලදායිතා සංවර්ධන නිලධාරීන්, සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.