ස්වභාවික පානයක් ලෙස ලෝක වෙළඳපළේ දැඩි ඉල්ලුමක්ව පවතින තැඹිලි විශාල අපනයන ඉල්ලුමක් සහිත බෝගයකි. එම ඉල්ලුමට ගැලපෙන සේ තැඹිලි වගාව ප්‍රවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලාංකේය විදේශ විනිමය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් තැඹිලි ගම්මාන පිහිටුවීමේ ව්‍යාපෘතියක් දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක කරනු ලබයි. මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කය තුළ තැඹිලි ගම්මාන අටක් ඇති කිරීමට අපේක්ෂා කරන අතර දිස්ත්‍රික්කයේ තැඹිලි වගා ඉලක්කය පැළ හාරදහසක් වේ.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ තැඹිලි වගාකරුවන් සහ තැඹිලි වගාවේ පාර්ශ්වකරුවන්ගේ හමුවක් අද (16)පෙරවරුවේදී මොලගොඩ ධාරා ග්‍රෑන්ඩ් හොටෙල් පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී තැඹිලි වගාවට සම්බන්ධ වන සියලුම පාර්ශවයන් වන අපනයනකරුවන්, තැඹිලි වගාවට අවශ්‍ය යෙදවුම් සපයන්නන් හා තැඹිලි ක්ෂේත්‍රයේ වෙනත් පාර්ශ්වකරුවන් එක් ස්ථානයකට රැස් කර එම එක් එක් පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණය කරමින් ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනා ගැනීම හා පාර්ශ්වකරුවන් අතර තොරතුරු හුවමාරු කර ගැනීම සිදුවිය.

එහිදී සංකේතාත්මකව තැඹිලි පැල බෙදා දීමක්ද සිදු කෙරිණි.

මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් පොල් වගා කිරීමේ ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු ඩබ්ලිව් .එන්.කේ වේහැල්ල මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එස් තිලකසිරි, පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන්, තැඹිලි වගා ක්ෂේත්‍රයට අදාල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන්, වගාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.