මෙම වසරේ තුන්වන කාර්තුවට අදාළ විදේශ රැකියා සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රගතිය විමසා බැලීමේ හමුව ඊයේ (01) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ අනුව 2024 වර්ෂයට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදේශ රැකියා අංශය මගින් සකස් කර ඇති ක්‍රියාකාරී සැලැස්මට අනුව ප්‍රගතිය ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් විමසා බැලිණි.

මැතිවරණ කාල සීමාවේදී වුවද නිලධාරීන් විසින් ඉටුකළ කාර්යභාරය මෙහිදී ඇගැයීමට ලක්කර අතර ස්වයං රැකියා ආධාර ලබාදීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. එමෙන්ම කොරියානු රැකියා සිදුකර පැමිණි පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් හරහා ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කිරීම කෙරෙහිද අවධානය යොමු කිරීමට මෙහිදී උපදෙස් ලබා දුනි. විශේෂයෙන්ම ස්වයං රැකියා ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම කෙරෙහිද අවධානය යොමු කෙරිණි.

මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් විදේශ රැකියා සම්බන්ධීකාරක නිලධාරී හරේන්ද්‍ර උඩුමුල්ල මහතා ඇතුළු එම අංශය විසිනි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)දිලිප් නිශාන්ත, සබරගමුව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකර සශික බටුගෙදර යන මහත්වරුන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.