ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ ප්‍රතිපත්ති සම්පාදනය හා සමගිය, සහජීවනය සඳහා උපයාමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා අදහස් ලබා ගැනීමේ රැස්වීමක් ඊයේ දින ( 10 ) පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ මහත්මාගේ සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය 2024 අංක 01දරන පනතින් සම්මත වූ පසු ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය ප්‍රවර්ධනය කිරීම සඳහා එම පනත මගින් විශේෂ අංශ 8ක් ඉදිරිපත් කර ඇති අතර එම කරුණු 8ට අදාළව ජාතික සංහිඳියා ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පළාත් මට්ටමෙන් ප්‍රජාවගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම අරමුණයි.

ඒ අනුව USID - SCORE ව්‍යාපෘතිය යටතේ Global Communities ආයතනය හා ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය ඒකාබද්ධව එම කරුණු 8ටඅදාළව පළාත් මට්ටමින් ප්‍රජා මූලික කතිකාවක් ගොඩ නැංවීමට අපේක්ෂිතයි. මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකයකු ලෙස සහභාගිවී කණ්ඩායම් කතිකාව ශක්තිමත් කරනු ලැබුවේ ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සඳුනි ආරියවංශ මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂ එච්. එස්. ලක්මාල් මහතා විසිනි. ඉතා සාර්ථක වැඩමුළුවක් ලෙස පැවති මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ ජාතික ඒකාබද්ධතා දිස්ත්‍රික් සම්බන්ධීකාරක ගයනි හේමමාලි සහ ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සංවර්ධන නිලධාරී දීප්ති ඒකනායක මහත්මීන් දෙපළ විසිනි.

මෙම වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 35 දෙනෙකු පමණ සහභාගි වූ අතර ආගමික නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශ නිලධාරීන්, කාන්තාවන්, තරුණ තරුණියන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ සහජීවන සංගම් නියෝජිතයින් සහභාගි විය.