වෘත්තීය පුහුණුව නගා සිටුවීම වෙනුවෙන් මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව මගින් ප්‍රධාන වැඩසටහන් හයක් යටතේ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් දිවයින පුරා දැනුවත් කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් සඳහා "ජීවිතයට හරි තීරණයක්" , නවය වසර සිසුන්ට දහවෙනි වසරේ කාණ්ඩ විෂයන් තෝරා ගැනීම සම්බන්ධ දැනුවත් කිරීම්, අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණු අවස්ථා තෝරාගැනීමට අදාළව "වෘත්තීය මංපෙත්" වැඩසටහන , දෙමව්පියන් සහ ගුරුබවතුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ලෙස පැවැත්වේ.

ඒ යටතේ අද දින පැවති වැඩසටහන සඳහා දිස්ත්‍රික්කයේ පවතින පුහුණු ආයතන වන ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, බටන්ගල විශ්ව විද්‍යාල ආයතනය, කෑගල්ල උසස් තාක්ෂණ ආයතනය,කෑගල්ල කාර්මික විද්‍යාලය,කෑගල්ල කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව, කෑගල්ල යොවුන් සේනාංකය යන ආයතන සම්පත් දායකත්වය ලබා දෙමින් අදාළ දැනුවත් කිරීම් සඳහා එක්විය.

කෑගල්ල අධ්‍යාපන කොට්ඨාශයේ උපදේශන විෂයභාර ගුරුවරුන් සඳහා පැවති මෙම දැනුවත් කිරීම සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් රැකියා ප්‍රවර්ධන අංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී රංජිත් මුහුණුවල මහතා ඇතුළු එම අංශය විසිනි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) දිලීප් නිශාන්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.