ජාතික ළමාරක්ෂක අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ එක්ව ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයින් සඳහා වන ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනට අදාළව කෑගල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප තුනෙහි පාසල් සිසුන් සඳහා ශිෂ්‍ය තානාපති වැඩසටහනෙහි දැනුවත් කිරීමක් අද (18) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම ,කුසලතා, ආකල්ප වර්ධනය කිරීම අරමුණු කරගනිමින් සකසා ඇති මෙම වැඩසටහනේදී ළමා ආරක්ෂාව පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීම සිදු කෙරේ.
ඒ අනුව ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ කාර්ය භාරය පිළිබඳ දැනුවත් කිරීම දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරීනි විනෝදනී කුලතුංග මහත්මිය විසින් සිදු කරන ලදී. දිවයින පුරා ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන ශිෂ්‍ය තානාපති වැඩසටහන හා එහි ඉදිරි පියවරයක් පිළිබඳව දිස්ත්‍රික් මනෝ සමාජ නිලධාරිනී චතුරිකා බණ්ඩාර මහත්මිය විසින් දැනුවත් කළ අතර සිසුන්ගේ සහභාගීත්වයෙන් යුක්තව කණ්ඩායම් ක්‍රියාකාරකම් කිහිපයක්ද මීට සමගාමීව සිදුකෙරිණි.
පාසල් පද්ධතියට මනෝ උපදේශනයෙහි වැදගත්කම පිළිබඳ හඳුන්වාදීම දිස්ත්‍රික් මනෝවිද්‍යා ජ්‍යෙෂ්ඨ උපදේශ නිලධාරී දිස්ත්‍රික් සම්බන්ධීකාරක එම්.බී.එම් ඉක්බල් මහතා විසින් සිදු කරන ලදී.
දිස්ත්‍රික්කයේ පාසල් පද්ධතියට කියවීමේ පුරුද්ද ඇති කිරීම සහ ජංගම පුස්තකාල වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම කෑගල්ල ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරී මහින්ද දසනායක මහතා විසින් පැමිණ සිටි ශිෂ්‍ය නායක නායිකාවන්ට අවබෝධ කර දෙන ලදී.
මෙම වැඩසටහන දිස්ත්‍රික් ළමා කටයුතු අර්ශය විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත යන මහත්වරුන්, පාසල් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන්, ගුරු භවතුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



























