කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්ප, කුසලතා වර්ධනය හා සාමූහිකව කණ්ඩායම් හැඟීමෙන් එක්ව වැඩ කිරීම හා සක්‍රීයව රාජ්‍ය සේවයට සම්බන්ධ වීමට අවශ්‍ය වන ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් 2024 .12 .18 සහ 20 යන දෙදින පුරා කෑගල්ල ජාතික යොවුන් සේනාංක පරිශ්‍රයේදී පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහත්මාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන් හා සම්පත් දායකත්වයෙන්.

යහපත් රාජ්‍ය සේවයක් උදෙසා රාජ්‍ය නිලධාරීන්ගේ ක්ලමතය දුරුකර ගැනීම, යහපත් මනසකින් යුතුව කටයුතු කිරීම, සති කළමනාකරණය, කාල කළමනාකරණය කරගනිමින් නිරවුල් තාර්කික බුද්ධියෙන් යුතුව රාජකාරී කටයුතු කිරීම සහ ඒකාකාරී දෛනික රාජකාරී පරිසරයෙන් මිදී මානසික තෘප්තියක් ලබා ගැනීම මෙම වැඩසටහන මගින් බලාපොරොත්තු වූ මූලික අරමුණු කිහිපයක්.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් උක්ත අරමුණු සඵල කර ගැනීමටත් සන්දර්භීය ඉලක්ක කරා යා හැකි විෂය පථයට අදාළ සම්පත් දායකයින් කිහිපදෙනෙකු සහභාගි වීමද මෙහිදී කැපී පෙනෙන්නක්.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු අංශ නියෝජනය වන පරිදි නිලධාරීන් 300 ක පමණ පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහනට තරුණ කටයුතු අමාත්‍යංශය නියෝජනය කරමින් ජීවන කුසලතා හා උපදේශක ප්‍රසන්න කුමාර, කෑගල්ල දිස්ත්‍රික් උපදේශන නිලධාරී රේණුකා ජයරත්න යන මහත්ම මහත්මීන් මෙහිදී සම්පත් දායකත්වය සැපයූ අතර මෙය හුදු වැඩසටහනකින් ඔබ්බට ගිය ක්‍රියාකාරකම් රැසකින් යුතු වැඩමුළුවක් ලෙස කැපී පෙනෙන්නක්.
පුරා දින දෙකක් තුළ පැවති සැහැල්ලු ව්‍යායාමවලින් ආරම්භ වූ මෙම වැඩසටහන අවසන් වූයේ නිලධාරීන්ගේ නිර්මාණාත්මක කලා හැකියාවන් ප්‍රදර්ශනය කරන, මනස තෘප්තිමත් භාවයට පත් කරන සුන්දර සන්ධ්‍යාවකට මං පෙත් විවර කරමින්. ඉතා සාර්ථක වැඩසටහනක් ලෙස සැලකිය හැකි මෙම වැඩසටහන සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල්. ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු දිස්ත්‍රි පුහුණු අංශය සංවිධානය කරනු ලැබ තිබුණා.