සූ සැට කලාවක කෑගලු ප්‍රත්‍යාවලෝකනය කලා විභාෂි - 2024 කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් ලෙසින් පසුගියදා (24) කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී දවස පුරා පැවැත්විණ.
එහි පළමු අදියරට අදාළව දෙහිමඩුව සරස්වතී කලායතනයේ වෙස් නර්තනය ශිල්පීන් පෙරටු කරගත් සම්භාවනීය අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය සිදු වූ අතර ඉන් අනතුරුව ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් පසුව උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාවේ ආගමික වතාවත් සිදුකිරීම සඳහා වෑවලදෙනිය ශ්‍රී මහින්දෝදිය පිරිවෙන් විහාරවාසී පිරිවෙන් ආචාර්ය අස්මඬලේ ධම්මරතන හිමියන්, ත්‍යාග රාජා කුරුක්කල් තුමන් ඇන්ටන් ශ්‍රියාන් පියතුමන් සහ එම්.ඒ.එම් අස්ලාම් මවුලවීතුමා එක්ව සිටියහ.
දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරීම දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා විසින් සිදු කළ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තේමා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව සිදු කෙරුණේ කලා විභාෂි විද්‍යුත් සමරු කලාපය වෙබ් අඩවියට දොරට වැඩීමයි.
මෙවර කලා විභාෂි -2024 සාහිත්‍ය මහෝත්සවයේ දී දිස්ත්‍රික්කයේ කලාකරුවන් ඇගයීම වෙනුවෙන් වයස අවුරුදු හැත්තෑවට වැඩි කලාවේ උන්නතිය වෙනුවෙන් තම දිවිය කැප කළ කලාකරුවන් එකොළොස් දෙනෙකු සඳහා කලා විභාෂි අභිනන්දන සම්මාන පිරිනැමිණි. තවද දිස්ත්‍රික්කයේ වයස අවුරුදු තිස්පහත් හතළිස් පහත් අතර නර්තන ශිල්පීන් එකොළොස් දෙනෙකු සඳහා නර්තනය වෙනුවෙන් ලබාදෙන සේවාව වෙනුවෙන් උපහාර සම්මාන පිරිනැමීමටද කටයුතු කර තිබිණි.
මෙවර මහෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා එක්ව සිටි අතර එතුමාගේ සුභාශිංසණය එම අවස්ථාවට එක් කරන ලදී.
ප්‍රාදේශීය මට්ටමේ තේරී පත්ව දිස්ත්‍රික් සාහිත්‍ය තරඟ ඉසව්වලින් ජයගත් ජයග්‍රහකයින් සඳහා අදියර කිහිපයක් යටතේ සහතික හා ත්‍යාග ලබාදීම සිදුවූ අතර ප්‍රවීණ ගීත විචාරක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් ඇතුළු කණ්ඩායම විසින් ගී රස වින්දනාත්මක වැඩසටහනක්ද එක් කර තිබිණි.
විචිත්‍රවත් නර්තනාංග සහ කලාංග රැසකින් සමන්විත වූ මෙවර කලා විභාෂි දිස්ත්‍රික් සාහිත මහෝත්සවය සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය සෞභාග්‍යා සමූපකාර වශයෙන් බැංකුව විසින් ලබා දී තිබුණි. එමෙන්ම සබරගමු පළාත් සභාව, අතුකෝරල සමූහය ව්‍යාපාරය ,ශ්‍රී ලතා ජුවලරි, සීවලී පොත්තල, ලංකා බැංකුව, මහජන බැංකුව ,අයිලන්ඩ් ඩේරිස් පුද්ගලික සමාගම, රතුකුරුස සංවිධානයද සෙසු අනුග්‍රහකත්වය ලබාදී තිබුණි.
දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනී කාංචනා විජයරත්න මහත්මිය ඇතුළු එම අංශය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම අංශවල නිළධාරීන් එක්ව මෙවර දිස්ත්‍රික් සාහිත්‍ය උළෙල සංවිධානය කර තිබුණි.
සමාරම්භක අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරිකා ගංගානි අතාවුද ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)කේ. ජී. එස්. නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත යන මහත්වරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, කෑගල්ල වරකාපොළ සහ අරනායක ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞභාග්‍යය සමූපකාර බැංකුවේ සාමාන්‍යාධිකාරි දම්මික නුවන් යසතිලක මහතා , ගරු සභාපතිතුමන් සහ දිස්ත්‍රික්කයේ පවතින දෙපාර්තමේන්තුවල සහ ආයතනවල ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරින්, ත්‍යාගලාභීන් සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.































