චිරාත් කාලයක සිට පැවත එන ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික "කෝලම්" පිළිබඳ සංස්කෘතිකමය වැඩසටහනක් "කලා විභාෂී දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය 2024" ට සමගාමීව පැවති වැඩසටහන් මාලාවේ තෙවන අදියර ලෙස (24 ) දින කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම සංස්කෘතික උත්සවය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය සංවිධානය කළ අතර දැඩි කණ්ඩායම් හැඟීමකින් හා උද්යෝගයකින් යුතුව වැඩසටහන සාර්ථක කර ගැනීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන් කැපවී සිටීම සුවිශේෂත්වයකි.

නිරන්තරයෙන් සමාජය තුළ දක්නට නැති, පහසුවෙන් මෙවැනි සංස්කෘතික වැඩසටහනක් සංවිධානය කිරීම සහ පැවැත්වීමට නොහැකි අවස්ථාවක සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර ශාන්ත කුමාර මහතා ඇතුළු හොරණ "කෝලම් කුට්ටම" ඉදිරිපත් කළ කෝලම් සංදර්ශනය ඉතා අගය කළ යුතුයි.

පොලිස් කෝලම, නොංචි කෝලම, හේවා කෝලම සහ ගරායක්ෂ නැටුම, නාගරාක්ෂ නැටුම ආදී නර්තනාංගයන්ගෙන් යුක්තව මෙම වැඩසටහන පුරා පැය 4 කට ආසන්න කාලයක් පැවැත්විණි. 2017 වර්ෂයේ යුනෙස්කෝ සංවිධානය විසින් අභාවයට යන නර්තනාංගයක් ලෙස ලෝක උරුමයක් කළ කෝලම් කලාව පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුත්තේ අ . පො . ස (උ පෙළ) සිසු දරු දැරියන්ට ප්‍රායෝගිකව මෙම කෝලම් දැක බලා ගැනීමට අවස්ථාව හිමිවීමයි.