**දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට එක්ව කටයුතු කරමු** යන තේමාව යටතේ ලෝක පරිසර දිනය නිමිත්තෙන් දිවයින පුරා මැයි 30 සිට ජූනි 05 දක්වා ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන අද (04) ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ සිට යටියන්තොට බෞද්ධ මන්දිරය දක්වා දැනුවත් කිරීමේ පා ගමනක් සංවිධානය කෙරිණි. එය දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසු සිසුවියන් සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහිදී පාසල් සිසුන් විසින් නගරවාසීන් දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකාද බෙදාහරින ලදී.

වැඩසටහනේ දෙවන අදියර යටියන්තොට බෞද්ධ මන්දිර පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී ලෝක පරිසර දිනය නිමිත්තෙන් පැවැත්වූ චිත්‍ර හා ඡායාරූප තරගවල ජයග්‍රාහකයන් වෙත රන් පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

එමෙන්ම, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වීදි නාට්‍ය කණ්ඩායම විසින් නිසි අපද්‍රව්‍ය කළමනාකරණයක් නොමැතිවීම හේතුවෙන් පරිසරයට සිදුවන හානි පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීදි නාට්‍යයක්ද ඉදිරිපත් කරන ලදී.

මෙම වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ මූලිකත්වයෙන් හා අදාළ රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා පළාත් දේශපාලන අධිකාරීන්, යටියන්තොට ප්‍රාදේශීය සභා සභාපතිතුමා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්. නිශාන්ත මහතා, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් අනුමා දිසානායක මහත්මිය, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, කෑගල්ල දිස්ත්‍රික් මධ්‍යම පරිසර අධිකාරි කාර්යාලයේ නිලධාරීන්, පාසල් සිසු සිසුවියන්, ගුරුභවතුන්, දෙමාපියන්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.