රැස්වීම් සහ දෛනික වැඩසටහන්
News & Events
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
දොළොස්බාගේ කඳුවලින් ආරම්භ වී කොච්චිකඩේ ප්‍රදේශයෙන් මුහුදට වැටෙන සුන්දර මා ඔය කි.මී 134ක් දුරට ගලා බසිනවා. විශාල ජල කඳක් මහ මුහුද වෙත රැගෙන යන මෙම ඔය කඳුකරයේ සිට පහළට වැටෙන්නේ අරණායක ප්‍රදේශයේ පිහිටා තිබෙන අසුපිනි ඇල්ල හරහා යි. අඩි 100ක පමණ උසකින් පිහිටා තිබෙන මෙම දිය ඇල්ල දුටුවන්ගේ සිත් මෝහනය කරනවා.
ගමන් මාර්ග
මෙම රමණීය දිය ඇල්ල නැරැඹීමට යාම සඳහා ප්‍රධාන මාර්ග දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න කොළඹ සිට මාවනැල්ලට පැමිණ, මාවනැල්ල නගරයේ සිට අරණායක දක්වා පැමිණ, එතැන් සිට හොරේවල දෙයියන්වල හරහා නාත්තාකන්ද උඩුවැල්ල පාරේ දන්තැල්ගොඩ ඔය පසු කරමින්, උඩුවැල්ල- නාත්තාකන්ද දෙසට විහිදෙන අඩි පාරේ තවත් කිලෝමීටර් එක හමාරක් පමණ ගමන් කර ඇල්ල වෙත ළඟාවීම යි. එවිට අඩි 100ක් පමණ උසක සිට පහළට වැටෙන ඇල්ල නිරීක්ෂණය කළ හැකියි. දිය ඇල්ල නැරඹීම සඳහා ඇති අනිකුත් පිවිසුම වන්නේ, ගම්පොළ නගරයේ සිට වැටී ඇති මාර්ගය යි. ගම්පොළ නගරයේ සිට කුරුඳුවත්ත නගරය දක්වා කිලෝමීටර් 8ක් පමණ ගමන් කර, දොළොස්බාගේ දක්වා වැටී ඇති මාර්ගයේ කිලෝමීටර් 4ක පමණ දුරක් ගමන් කර, දකුණු පසින් ඇති වැටකේදෙනිය-උඩුවැල්ල මාර්ගයේ උඩුවැල්ල නගරයට යා යුතු යි. එතැන් සිට කිලෝමීටර් 2ක පමණ දුරක් ගිය පසු අසුපිනි ඇල්ල වෙත ළඟා විය හැකියි. එලෙස අසුපිනි ඇල්ල වෙත පැමිණෙන සංචාරකයෙකුට පහළට කඩා වැටෙන ඇල්ල නැරඹිය හැකියි. බොහෝ දෙනකු සංචාරය කිරීම සඳහා තෝරාගන්නේ මේ මාර්ගය යි. එයට හේතුව වන්නේ වාහනයකින් ඇල්ල අසලටම ගමන් කළ හැකිවීම යි.
අසුපිනි ඇල්ල බැලූ බැල්මට සුන්දර දිය ඇල්ලක් වුණත් ඒ ආශ්‍රිතව පසුගිය දශක කිහිපය තුළ මරණ 15ක් පමණ වාර්තා වී තිබෙනවා. එම මරණවලට හේතුව දිය ඇල්ල ආශ්‍රිතව පවතින අනතුරුදායක තත්ත්වය යි. ඇල්ල පාමුල පිහිටා ඇති “මිනීකඳවල” නම් ස්ථානය මිනිසුන් බිලිගන්නා තැනක් බවට ජනප්‍රවාදයක් පවතිනවා. ඊට අමතරව මෙම අලංකාර දිය ඇල්ල වටා ගෙතුනු ජනප්‍රවාද රැසක් තිබෙන බව බොහෝ ප්‍රසිද්ධ කාරණයක්. අසුපිනි ඇල්ලට එම නම ලැබුණු ආකාරය පිළිබඳවත් ජනප්‍රවාදයන් දෙකක් තිබෙනවා.
වලගම්බා රජතුමා සම්බන්ධ ජනප්‍රවාදය
ක්‍රි.පූ 103 දී වලගම්බා රජතුමා අනුරාධපුර රාජධානියේ පාලකයා බවට පත්වුණා. ඔහුගේ රාජ්‍ය සාමය ආරම්භ වී ටික කලකින් දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් පිරිසක් අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කළා. වලගම්බා රජතුමා සිය ජීවිතය බේරාගැනීම සඳහා වනයට පළා ගොස්, විවිධ ප්‍රදේශවල සැඟවී සිටියා. එම රජතුමා කෑගල්ල ආශ්‍රිතවත් තැන් කීපයක වාසය කළ බව කියැවෙනවා. කෑගල්ලට එම නම ලැබුණේත් වලගම්බා රජතුමා සම්බන්ධ කතා පුවතක් නිසා යි.
මෙසේ ආරක්ෂිතව සැඟව සිටි වලගම්බා රජතුමා දිනක් අසු පිටින් දිය ඇල්ලක් තරණය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. එදා රජතුමා විසින් තරණය කර ඇත්තේ අරණායක ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දිය ඇල්ල යි. අශ්වයා ඇල්ල හරහා පැනීම හේතුවෙන් “අසු පැනි ඇල්ල” යන නම පටබැඳුණු මෙම ඇල්ල, පසු කලෙක අසුපිනි ඇල්ල බවට පත්වුණා.
කුමාරිකාවන් තිස් දෙනා සම්බන්ධ ජනප්‍රවාදය
එක්තරා රජ කෙනෙකු සතුරා සමග සටනට යාමට පෙර සිය බිසෝවරුන් තිස්දෙනා අසුපිනි ඇල්ල සමීපයේ පිහිටි ගල් ගුහාවක රඳවා තැබුවා. එම ගල් ගුහාව අදටත් “තිස් කුමාරි ලෙන” නමින් හඳුන්වනවා. එදා රජතුමා සටනට යාමට පෙර සිය බිසෝවරුන්ට පවසා සිටියේ ඔහු යුද්ධයෙන් ලබාගන්නා ප්‍රතිඵලය ගැන දන්වා පණිවිඩකරුවෙකු එවන බව යි. තමා යුද්ධයෙන් ජයග්‍රහණය කළොත් පණිවිඩකරුවා සුදු කොඩියක් රැගෙන එන ආකාරයත්, පරාජය වුණොත් කළු කොඩියක් රැගෙන එන ආකාරයත් පිළිබඳව දැනුවත් කළ රජතුමා සටනට පිටත්ව ගියා.
එම සටනින් රජතුමා බලාපොරොත්තු වුණු ආකාරයටම ජය ලැබුවා. ඔහු ලබාගත් ජයග්‍රහණය පිළිබඳව සිය බිසෝවරුන්ට දැන්වීමට භාර කළේ හත්ගම්පල නම් ගමෙහි කොඩිකරුවාට යි. එදා බීමතින් සිටි කොඩිකරුවා වැරදීමකින් කළු කොඩිය ඔසවාගෙන පැමිණි බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. එසේම බිසෝවරුන්ට විහිළුවක් කිරීමට සිතාගත් රජතුමා කොඩිකරුවාට කළු කොඩියක් රැගෙන යාමට අණ කළ බවට ද මතයක් පවතිනවා. රජතුමා පිටත්ව ගොස් දින කිහිපයක් ගතවුණු නිසා පණිවිඩකරුවාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි බිසෝවරු තිස් දෙනා ඇල්ල මුදුනේ පිහිටි ගල් තලාවට වී සිටියා.
එවිට ඈතින් එන පණිවිඩකරුවා බිසෝවරුන්ගේ නෙත්වලට හසුවුණත් ඔහු රැගෙන ආවේ පරාජය සලකුණු කළ කළු කොඩිය යි. එය දැකීමෙන් මහත් ශෝකයට පත්වුණු බිසෝවරුන් තිස් දෙනා ඇල්ලෙන් පහළට පැන දිවි නසාගත් බව කියවෙනවා. පසුව ජයග්‍රාහී ලීලාවෙන් සිය බිසෝවරුන් බැහැදැකීමට පැමිණි රජතුමාට, සිදුව ඇති විනාශය පිළිබඳව දකින්නට ලැබුණා. එයින් කම්පාවට පත්වුණු රජතුමා අසුපිට සිටියදීම ඇල්ලෙන් පහළට පැන දිවි නසාගත් බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. එදා රජතුමාගේ අශ්වයා පැන්න ඇල්ල පසු කලෙක අසුපිනි ඇල්ල නමින් වෙනස් වුණු බව ද කියවෙනවා.
අද මිනීකඳවල යන නමින් හඳුන්වනු ලබන්නේ, ජනප්‍රවාදයට අනුව එදා මරණයට පත්වුණු බිසෝවරුන්ගේ මිනී පැමිණ ගොඩ ගැසූ ස්ථානය යි. අදටත් ඇල්ලේ ඉහළ කෙළවර ජල පහරට බිළිවන පුද්ගලයන්ගේ සිරුරු රැඳෙන්නේ මෙම ස්ථානයේ යි. මිනීකඳවල පිළිබඳව ගොඩනැගුණු තවත් ජනප්‍රවාද කතාවක් තිබෙනවා. ඒ, මෙහි සිටින රන් ආඳෙකු පිළිබඳව යි.
රන් ආඳා පිළිබඳව ජනප්‍රවාදය
මිනීකඳවලෙහි වතුර තද කළු පැහැතියි. ඒ ආශ්‍රිතව රන් ආඳෙකු සිටින බවට විශ්වාසයක් ගම්මුන් අතර පවතිනවා. ඔවුන්ගේ විශ්වාසයට අනුව ආඳා ජලයෙන් ඉහළට පැමිණෙන්නේ එක්තරා කාලයක දී පමණ යි. එවිට ඇල්ල තුළින් කම්පිත හඬක් නැගෙන බව පැවසෙනවා. එම හඬ නිකුත් වන්නේ මිනිස් බිල්ලක් ලබාගැනීමට ආසන්න වුණු විට දී බව ගම්මුන්ගේ මතය යි. එහි සත්‍ය අසත්‍ය බව කුමක් වුණත් අද වන විට අසුපිනි ඇල්ල විශාල ජීවිත ප්‍රමාණයක් බිළිගෙන අවසන්.
නිධානයක් පිළිබඳව පවතින ජනප්‍රවාදය
අසුපිනි ඇල්ල සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ පවතින තවත් රසවත් කථාවක් තිබෙනවා. එම කතාවට එක්තරා අනුව එක්තරා රජ කෙනෙකු සතුරු කරදරවලින් බේරිම සඳහා මෙම ඇල්ල ආසන්නයේ පිහිටා තිබුණු ලෙනක වාසය කළේ සිය පුරෝහිතයා සමග යි. එහි වාසය කළ රජතුමා රන් ඇඳක් සහ රන් පුහුල් හතක් තබාගෙන සිටි බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. පසු කලෙක රජතුමා එතැනින් ඉවත්ව ගිය පසු එම වස්තු එහි තැන්පත් වී නිධානයක් වුණු බවට මතයක් පවතිනවා. සමහර ගම්මුන් විශ්වාස කරන්නේ එම නිධානය තවමත් එහි පවතින බව යි. බොහෝවිට එම සිද්ධියට සම්බන්ධ රජතුමා වලගම්බා බව අනුමාන කළ හැකියි. එම රජතුමා අරණායක ප්‍රදේශය ආශ්‍රිතව සැඟවී සිටීම එයට හේතුව යි.
උපුටා ගැනීම - https://pwa.roar.media/sinhala/main/travel/folklore-about-asupini-falls
කොළඹ නුවර පාරේ මාවනැල්ල පසුකරමින් යන විට මාර්ගය වම්පසින් ඉහළ නගින පර්වතයක් සහිත කන්ද කාටත් හුරුපුරුදුයි. එය සුද්දන් කාසල් රොක් නමින් හැඳින්වුයේ බලකොටුවක් මෙන් ඈතට පෙනෙන නිසයි. එම කන්ද අප අතර ජනප්‍රිය වී ඇත්තේ “සර්දියෙල්“ නම් සිංහලයන්ට හිතවත් දාමරිකයා සැඟවී සිටි ස්ථානය නිසයි. සරදියෙල් ඉංග්‍රීසින්ගෙන් ධනය කොල්ල කා සිංහල දුප්පතුන් අතර බෙදාදුන් නිසා ගැමියන් අතර ජනප්‍රිය වුණා. සූර සරදියෙල් නමින් හැඳින්වුණා. පොලීසියෙන් බේරීමට ඔහු සැඟව සිටියේ මේ කඳු මුදුනෙයි.
මාවනැල්ලේ උතුවන හන්දියෙන් දිවයන අතුරු මාර්ගයේ උතුවන්කන්ද ගම්මානයට පැමිණිමෙන් මෙම කන්ද තරණය කළ හැකියි. ටික කලකට පෙර සොබාදහමට කැමති සංචාරකයන් දුෂ්කරතා විඳ මේ කන්ද තරණය කළා. මෑතකදී කඳු පාමුල පිහිටවූ සරදියෙල් ගම්මානය නිසා සරදියෙල් ගල නැගීමත් ජනප්‍රිය වී තිබෙනවා.
උතුවන්කන්ද නවාතැන් පොළ කරගත් සරදියෙල් උපත ලැබුවේ 1832 මාර්තු 25 වැනි දිනයි. සරදියෙල්ගේ පියා හලාවත, හාල්දඬුවන ගමේ පදිංචිකාරයකු වූ ආදාසි අප්පුයි. උතුවන්කන්ද – මොලගොඩ පදිංචි පිචෝහාමි ඔහුගේ මවයි. මේ කන්ද අවට ගම්මාන වන්නේ මුවපිටිය, මොළගොඩ, මොළගම, කිරිවන්දෙණිය හා තොටගමයි. මේ ගම්මාන අවට වනරොදින් ගහණයි. වනපෙත මැදින් අඩි 1410ක් උසැති උතුවන්කන්ද තරණය කරන අයකුට ඒ සඳහා විශාල වෙහෙසක් දරන්නට සිදුවෙනවා. කඳු මුදුනට ආසන්නවීමට පෙර ඇති ගල්තලාව මත පිහිටි ගල් ගුහාව සරදියෙල්ගේ සැඟවී සිටි ස්ථානය ලෙස සැලකෙනවා.
උපුටා ගැනීම - https://pwa.roar.media/sinhala/main/travel/an-ancient-temple-dedigama-kotawehera
සරදියල් ගම්මානය
කොළඹ ඉඳන් කුරුණෑගල දක්වා යන A5 මාර්ගයේ එක් සන්ධිස්ථානයක් තමයි පොල්ගහවෙල. කොළඹ නගරයේ සිට කිලෝමීටර 74ක් පමණ ඊසාන දෙසින් පොල්ගහවෙල පිහිටා තිබෙනවා. මහඔය මේ ආසන්නයෙන් ගලාගෙන යන්නේ ප්‍රදේශයට දියවර සපයමින්. පොල්ගහවෙල කලක පටන්ම ප්‍රකටව තිබුණේ එහි පිහිටි දුම්රිය ස්ථානය නිසයි. අදත් අප අතරින් බොහෝ දෙනෙක් පොල්ගහවෙල පසුකර බොහෝ ගමන් ගියත් ඒ අවට පිහිටි නැරඹිය යුතු තැන් ගැන අවධානය යොමුකරන බවක් පේන්නෙ නැහැ. අපි බලමු මේ අවට තියෙන දැකබලාගත යුතු තැන් මොනවද කියලා.
දුම්රිය හන්දිය
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට අවුරුදු 100කට වඩා ඉතිහාසයක් තිබෙනවා. එහි පැරණිම දෙමහල් ගොඩනැගිල්ලක් අදත් දැකගත හැකියි. ප්‍රධාන දුම්රිය මාර්ගයෙන් උතුරුදිග දුම්රිය මාර්ගය වෙන්කරන හංදිය, පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ පිහිටුවා තිබෙනවා. මේ දුම්රිය නැවතුම්පොළ වේදිකා 5කින් සමන්විත යි.
කොටුව සිට දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගය මහනුවර, මාතලේ, නාවලපිටිය, සහ බදුල්ල කරා දිවෙන අතර උතුරුදිග දුම්රිය මාර්ගය අනුරාධපුරය, යාපනය දක්වා දිව යනවා. ඉංග්‍රීසින් විසින් කොළඹ සිට පොල්ගහවෙල හරහා කුරුණෑගලට 1820 දී කරත්ත පාරක් ඉදිකළා. ඒ, ඔවුන්ගේ වෙළෙඳ බෝගයන් ප්‍රවාහනයට පහසුවීමට යි. පසුව මෙම මාර්ගය තාර දැමූ ප්‍රධාන පාරක් වුණා.
කලකට පෙර පොල්ගහවෙල නගරය තිබුණේ දැන් තිබෙන අයුරින් කුරුණෑගල පාර අද්දර නොවේ. දුම්රිය නැවතුම අසලින් දිවෙන කෑගල්ල පාර දෙපසයි. පරණ නගරය අදටත් ඒ අවට දී දැකගත හැකියි.
යෝගමුවා කන්ද
නගරය පිටුපසින් හරිත ප්‍රාකාරයක් සේ ඇදීයන කන්ද ඔබ අනන්තවත් දකින්න ඇති. එහි පිහිටා ඇති සම්ප්‍රේෂණ කුලුණු දකින්නත් ඇති. ඈතට වනාන්තරයක් සේ පෙණුනත් අඩි 800ක් පමණ ඉහළට දිවෙන මේ කන්ද අද විශාල වශයෙන් ජනාවාස වූ ප්‍රදේශයක්. ඈපාකන්ද නම් ගම්මානය මෙහි පිහිටා තිබෙනවා. කන්ද මුදුනට යන තෙක් මහාමාර්ග ඉදිකර තිබෙනවා.
නගරය පසුකර මද දුරක් ගොස් උසාවිය අසලින් වමට ඇති මාර්ගය යෝගමුවා කන්ද දෙසට ඇදී යනවා. කන්ද මුදුනේ ගල්පර්වතය මත කුඩා විහාරයක් ද පිහිටා තිබෙනවා. මෙහි තැනින් තැන වනවදුලු දැකගත හැකියි.
වට්ටාරම
යෝගමුවා කන්දේ සිට ආපසු පොල්ගහවෙලට පැමිණ කෑගල්ල පාරේ කි. මී. 4ක් දුර ගෙවා වට්ටාරම රජමහා විහාරයට පැමිණිය හැකියි. එය අයත්වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව මැතිවරණ කොට්ඨාසයට යි. වට්ටාරම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරය වසර දෙදහස් තුන්සියයකටත් වඩා අතීතයකට දිවයන පුදබිමක්. අපේ රටේ අවසන් මහරහතන් වහන්සේ වන මලියදේව හිමියන් වැඩ විසූයේ යැයි කියන්නේ මෙම විහාරයේ යි.
අතීතයේ පටන් අද දක්වාම වෙසක්-පොසොන් සමයේ බස්නාහිර පළාතේ සිට අනුරාධපුර, පොළොන්නරු වටවන්දනාවේ යන වන්දනා නඩවල පළමු නැවතුම්පොළ වන්නේ වට්ටාරම රජමහා විහාරය යි.
සිංහල බෝධිවංශයේ සඳහන් ආකාරයට ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් හටගත් අංකුර තිස්දෙක අතුරෙන් එක් බෝධි අංකුරයක් මෙහි රෝපණය කර තිබෙනවා.
පුරාණ නටබුන් රාශියක් වට්ටාරම විහාරයේ දී දැකගත හැකියි. පැරණි කළුගල් උළුවහු කොටස්, ගල්කණු ආදිය විහාර බිමේ තැන තැන තිබෙනවා. නූතන විහාරය, මහනුවර යුගයට අයත් කුඩා විහාරය, දාගැබ, බෝධි වෘක්ෂය මෙහි කැපී පෙනෙන පූජනීය අංග යි. දාගැබට නුදුරින් පිහිටි පැරණි ගොඩනැගිල්ලක අවශේෂ හඳුන්වන්නේ මලියදේව හිමි වැඩසිටි මලියමහා පාය ලෙසින්.
ක්‍රි.ව.1744 දී විජයසුන්දර ලෙව්කේ අදිකාරම විසින් මෙහි පිහිටි කුඩා විහාරගෙය ඉදිකර වූ බව පැවසෙනවා. එය ඉදිරිපසින් හේවිසි මණ්ඩපයක් දක්නට ලැබෙනවා. මෙම විහාරගෙට ඇතුළුවන ස්ථානයේ දකුණෙන් ටැම් ලිපියක් ද ඉදිරිපස සිරිපතුල් ලාංඡනය ද දක්නට ලැබෙනවා.
වට්ටාරම විහාරයේ පිහිටි පොහොය සීමාව පැරැණි හා නව සංඝාවාසය ඉදිරිපස පිහිටා තිබෙනවා. අද ද ඒ පොහොය සීමාව ගල්කණුවලින් සීමා මායිම් වෙන්කර ඇති අන්දම දැකගත හැකියි. කැටයම් සහිත පැරැණි දැව උළුවස්සකින් අලංකාර කළ පොත්ගුල ද අවුරුදු 100ක් පමණ පැරණි දෙමහල් ගොඩනැගිල්ලක්. මෙම දැව උළුවස්සට කෘත්‍රිම තීන්ත ආලේප කිරීම නිසා පුරාවිද්‍යාත්මක අගයට හානිවී තිබෙනවා.
පැරණි දාගැබ
විහාරයට අයත් පොල්වතු යායක් මැද පිහිටි පැරණි දාගැබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2012 වසරේ දී කැණීම් කළා. එය මේ වන විට සංරක්ෂණය කර තිබෙනවා. එහි තිබූ දාගැබ් ගොඩැල්ල නිදන් හොරුන් හාරා තිබූ බව කැණීම් කිරීමේ දී හෙළිවුණා. ගැමියන් එම ස්ථානය හැඳින්වූයේ කොටවෙහෙර නමින්. දාගැබ අටපටටම් වේදිකාවක් මත ඉදිකර තිබෙනවා. ඒ අවට තැන්තැන්වල ගල්කණු මතුව තිබෙනවා.
පනලිය ගෝඨාභය ලෙන්
පොල්ගහවෙලින් කෑගල්ල පාරට හැරී කි. මී. 7ක් ගමන් කර පනලිය ගමට පැමිණිය යුතුයි. මෙම විහාරය ගෝඨාභය රජ සමයේ ඉදිකළ බවයි ජනප්‍රවාද පවසන්නේ. කටාරම් කෙටූ ලෙන් කිහිපයක් මෙහි පිහිටා තිබෙනවා. ගල්පඩි නගිමින් කඳුබෑවුමේ පිහිටි විහාරයට ළඟාවිය යුතු යි.
බඹරගල ලෙන්
බඹරගලට පිවීසීමට නම් පොල්ගහවෙල නගරයට පිවිසීමට මඳක් පෙර හමුවන යන්ගල්මෝදර හන්දියෙන් හැරී යා යුතුයි. නාරම්මල වඩුවාව පාරේ ගමන් කර බඹරගල හන්දියෙන් හැරී, අතුරු පාරක මඳදුරක් ගමන් කරන විට බඹරගල කන්ද පාමුලට පැමිණිය හැකියි. කිලෝමීටරයකට ආසන්න දුරක් ඇදී යන ගල්පර්වතයේ බඹර වද නිතර දැකගත හැකි නිසා එයට බඹරගල යන ලැබී තිබෙනවා. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බ්‍රාහ්මී සෙල්ලිපියක් මෙම ලෙනකින් හමුවීමෙන් පෙනෙන්නේ බොහෝ කලක පටන් මෙහි බෞද්ධ භික්ෂූන් වැඩවාසය කළ බව යි.
අද මෙහි ලෙන් විහාරයේ දක්නට ලැබෙන්නේ මහනුවර සම්ප්‍රදායේ පසු කාලයට අයත් ප්‍රතිමා සහ බිතුසිතුවම් ය. විහාරයට යාබදව ලෙන තුළ කුඩා දාගැබක් ද ඉදිකර තිබෙනවා. කඳු තරණය කර ගල්පර්වතය මතට පිවිසි විට වයඹ තැනිතලාවේ රමණීය දර්ශනයකින් නෙත පිනවා ගත හැකියි. මේ අවට වනවදුලු සහිත සුන්දර පරිසරයක් පිහිටා තිබෙනවා.
රෑනගල රජමහා විහාරය
බඹරගලත් බලාගෙන වඩුවාව පසුකරගෙන ඉදිරියට ගොස් නුංගමුව හන්දියෙන් වදාකඩ පාරේ ගමන් කර තවත් අපූරු ඓතිහාසික බිමකට යාමට පුළුවන්. ඒ රෑනගල යි. පොළෝ මට්ටමේ සිට අඩි 800ක් පමණ ඉහළට ඇදීයන රෑනගල මත මෑතක දී හිටි බුද්ධ ප්‍රතිමාවක් ඉදිකර තිබෙනවා. ඒ අසලම ප්‍රතිමා මන්දිරය ද දැකගත හැකියි. පුරාණයේ දඹදෙනියේ සිට කුරුණෑගලට හා මහනුවරට තිබූ පැරණි මාවත මේ අසලින් වැටී තිබූ බව පැවසෙනවා. විහාරයට නුදුරින් මහනුවර යුගයට අයත් පැරණි අම්බලමක් පිහිටා තිබෙනවා. එය පුරාවිද්‍යා ස්මාරකයක්.
විහාරය පිහිටි පර්වතයට නැගීමට ගලේ කැපූ පියගැට සකස් කර තිබෙනවා. මෙහි පර්වතය මත රෑන් ඇඳ තිබූ නිසා (රේඛා) රෑනගල යයි නම් වූ බවයි ගැමියන් කියන්නේ.
සේරුවාගල
පොල්ගහවෙල සිට වදාකඩ පාරේ ගමන් කිරීමෙන් පිවිසිය හැකි තවත් පර්වතයක් තමයි, මේ. මෙහි විශේෂත්වය නම් විශාල තැනිතලාවක් ලෙස පර්වතය පැතිරී තිබීමයි. මෙම ගල අක්කර ගණනාවක් පුරා තැනිතලාවක් සේ විහිදී යනවා. සේරුවාගල රජමහා විහාරය පර්වතය මත පිහිටා තිබෙනවා. සංඝාවාසය ඇත්තේ පර්වතය පාමුලයි. විහාර මන්දිරය සහ දාගැබත්, පැරණි නටබුන් රැසකුත් පර්වතය මත දකින්න පුළුවන්. විහාර මන්දිරය මහනුවර යුගයේ ලක්ෂණ සහිතයි. දාගැබ සහ බෝධි වෘක්ෂය ද ඒ අසල පිහිටා තිබෙනවා.
මේ පූජනීය ගොඩනැගිලි වටා යන සේ තැනූ ප්‍රාකාරයක් දැකගත හැකියි. මේ ස්ථානයට නුදුරින් පර්වතය මත තිබෙන මාලිගාතැන්න කියන ප්‍රදේශය පුරා විසිරුණු ගඩොල් කැබලි හා පස් ගොඩැලි දැකගත හැකියි. එය පැරණි දාගැබක අවශේෂ බවයි පෙනෙන්නේ.
වංගු හත
පොල්ගහවෙල සිට බුලුගොල්ල හන්දියෙන් හැරී රඹුක්කන දක්වා ගමන් කිරීමේ දී හමුවන සුන්දර අත්දැකීමක් තමයි, වංගු හත. අඩි දහසක පමණ කඳු බෑවුමක් හරහා මාර්ගය ඇදී යන්නේ සුප්‍රකට දහඅට වංගුව සිහිපත් කරන වංගු හතක් පසුකරමින්. මෙහිදී අවට කඳුවල කදිම දසුනක් දැකබලාගැනීමටත් ඉඩ ලැබෙනවා.
මේවාට අමතරව පුහුරිය මලියදේව ලෙන් විහාරය, අල්ගම සංඝරාජ විහාරය, උඩපොල සපුමල් බණ්ඩාර දේවාලය ආදී පැරණි ස්ථාන රැසක් ද පොල්ගහවෙල අවට පිහිටා තිබෙනවා.
උපුටා ගැනීම - https://pwa.roar.media/sinhala/main/travel/polgahawela-places-to-travel
අප දෙවනගල පර්වතය මතදී බතලේගල සොඳුරු දර්ශනය දුටුපසු එය තරණය කිරීමේ කැමැත්ත තවත් ඉහළ ගියා. කඩුගන්නාව පසුකරන විට දකුණු පසින් ඉහළ නගින කඳු අතර කැපී පෙනෙන බතලේගල ඔබ නිතර දකින් දසුනක්. එය ඈතට පොතක් මෙන් දිස්වන නිසා ඉංග්‍රීසින් එයට බයිබල් රොක් යයි කිව්වා. අපට එය පේන්නේ සීගිරිය වගේ නිසා සමහරු පුංචි සීගිරිය යන නමත් එයට යෙදුවා.
බතලේගල නැගීමට මාවනැල්ල නගරයේ ඉඳලා අරණායක පාරෙන් ආවොත් දුර දුර කි.මි 13 ක් විතර ඇති. මේක අයත් වෙන්නේ හත්ගම්පල කියන ග්‍රාම නිලධාරි වසමට. බස්රථයකින් වුණත් පහසුවෙන් ළඟාවීමට පුලුවන්. මාවනැල්ල සිට දෙබත්ගම බසයක ගිහින් හත්ගම්පල හන්දියෙන් බැසගත යුතුයි. එහි සිට බතලේගල පර්වතයට යන නාම පුවරුවෙන් දක්වා ඇති බුලුගම්මන මාර්ගයේ කඳු පාමුලට කි. මී. 2ක් පයින් යායුතුයි. කඳු මුදුන දක්වා තවත් කි. මී. එකහමාරක් පමණ දුරයි. වංගු සහ දළ බෑවුම් සහිත මෙම මාර්ගය දැන් තාර හා කොන්ක්‍රීට් යොදා පිළිසකර කර ඇති නිසා කුඩා වාහනයකින් වුවත් ගමන් කළ හැකියි. තේ, ගොරකා, කරාබු, ගම්මිරිස්, කෙසෙල්, පුවක්, කොස් වැනි වගාවලින් පිරි ගෙවතුවලින් සමන්විත ගම්මානයක් මැදින් මාර්ගය වැටී තිබෙනවා. සමහර තැනක හෙල්මළු කුඹුරුත් දකින්න ලැබෙනවා.
කන්දේ පර්වතය ආසන්නයට යනකම්ම ජනාවාස පැතිර තිබෙනවා. ඒ ගැමියන් ගතකරන්නේ දුෂ්කර ජීවිතයක් බවත් ඔබට දැකගැනීමට ලැබේවි.
බතලේගල පිහිටා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ. මේ පර්වතය මුහුදු මට්ටමේ සිට අඩි 2618 උසින් යුක්තයි. අද බතලේගල කඳු නගින්නන් අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයක් වෙලා. සබරගමුව පළාත් සභාවෙන් මෙහි සංචාරක ආකර්ෂණය වැඩිකිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කර තිබෙනවා.
බතලේගල කන්ද මුදුනේ වන පර්වතය පමණක් අඩි 540ක් පමණ උසයි. කඳු මුදුනට පිවිසීමට පර්වතය හරහා ඉතා සීඝ්‍ර බෑවුමක් තරණය කළ යුතුයි. පර්වතය අවට වනාන්තරයක් ද දක්නට ලැබෙනවා. අක්කර 150ක් පමණ විශාල එහි ඇටඹ, වල් දෙල්, හල්මිල්ල, බලබොඩ, බදුල්ල, කළුමැදිරිය, කිතුල් ඇතුළු ගස්වැල් පැතිර තිබෙනවා. කලවැද්දා, කබල්ලෑවා, වල්ඌරා, කොළ දිවියා ඇතුළු ක්ෂීරපායී විශේෂ රැසක්ද මෙහි ජීවත් වෙනවා.
කඳු මුදුනට පිවිසි අපු තැනිතලා පර්වතයක් අපට දැකගත හැකිය. එය විශෘලත්වයෙන් අක්කර 6ක්. මෙම භූමියේ මෑත අතීතයේ දී විහාරයක් ඉදිකර තිබෙනවා. කඳු මුදුනට සබරගමු කඳු මෙන්ම මධ්‍ය කඳුකරයත් කදිමට දිස්වෙනවා. මේ දර්ශනයේ කැපීපෙනෙන්නේ රාස්සව කඳු අතරින් කඩාහැලෙනා අහුපිනි ඇල්ලයි.
උපුටා ගැනීම - https://pwa.roar.media/sinhala/main/travel/beautiful-mawanella-in-sri-lanka






























